සදාකාලික කන්‍යාව


















ගඟනත පලා වැසි වසිද්දී
නුවණත පුරා ප්‍රේමය දරා
හඬන්නී ඈ උමතුවෙන්
යදින්නී ප්‍රේමයේ පහසක්
සදාකාලික කන්‍යාව ඈ
එකම හදකට පෙම් කෙරූ

දිදී දස වද සරා සඳ විත්
ගෙතෙන විට වරලේ එතූ
කඩා මුහුලස අවුල් කර කෙස්
අසන්නී කුමකටද රූ

වෙලී නම් ලැම පිපි පියුම් මැද
පැතූ සුසුමක නුරා පෙම් පොද
නොවේ මේ රැය පෙමක දුක් කඳ
අසන්නී කුමකටද හදවත

රොන් සුණු පුරා හද මල් අරා
මල් පොදි පිටින් නෙලමින් පුදා
පරවී මියෙන යුරු බල බලා
වලප්නී, බල මල්සරා

ලවනත පුරා වැසි වැටෙද්දී
නුවණත පුරා සිහිනය දැරූ
සදාකාලික කන්‍යාව ඈ
නුඹට පමණක් පෙම් කෙරූ

2010

© Subhadra Jayasundara