නුඹේ පෙම භයංකර සත්‍යයකි


















අඩක් සියවස් අඩක් අත් නෑර නොනැවතී
ළය පලා පුදන්නැයි බල කරන
නුඹේ පෙම භයංකර සත්‍යයකි

අතින් පන්දම දරා, නෙතින් කලුවර හලා
මනමාල ලුසිෆර් පැමිණි තැන
හද දඟර වී තිබුනි සර්පයෙකු වාගේම
ආලෝකය ද අඳුර ද
එක්වරම නැගුණු තැන
ළය සුසැදි රන්මුවා සර්පිලය දකින්නට
යුක්ලීඩ්ටත් වඩා කාලයක්,
හදවතට ඇහැ ගහන් කල් මරන
නුඹේ පෙම භයංකර සත්‍යයකි

පාෂාණිභූත මැණික් කටු සහ ඉපිල්ලුණු නිල් නහර ද
පැරණි දිගු සීසේරියන් කැලැල්ද
තවම තුණු ඇහි පියෙන් පිරිමදින
මට රිදේයැයි සිතා
නින්දෙනුත් මගේ හිස සකසවන - නුඹේ පෙම
පලමු ඒක භාර්යා පවුල පටන් ගත් දවස වාගේම
භයංකර සත්‍යයකි

ප්‍රේමය තරම් පරිපූර්ණ
සර්පිලාකාර නිමැවුම්
අතීතය වෙත යන්න නුඹ සදන මඟ මරා
අලුත් ඉරි මගේ නළලත තබන
නාගයින් හැව අරින රාත්‍රිය පුරාවට,

කප් කෙලක් කප් නෑර එකම සිතකට බැඳුණු
සිදුහත්ගෙ අතාර්කික ප්‍රේමයට අරුත් දුන්
නුඹේ පෙම භයංකර සත්‍යයකි

ඉදින් මට හද පලා පිදිය හැක
එසේ වුව සර්පිලය එයමය
අඩක් සියවස් අඩට මුල පිරුව
කාල පථයට නැවත පිවිසෙන්න
ඒතරම් වේගයක් මට නැත
වේගවත් වස්තූන් දිගු නැත


2015

© Subhadra Jayasundara
 

අරූපාවචර ප්‍රේමය


















රාත්‍රී යහනේදී, මාගේ ආත්මය ප්‍රේම කරන තැනැත්තා සෙවීමි.
මට ඔහු හමු වූයේ නැත.1
දිවා කල, අනන්ත සැරිසැරීම් තුල
ඔහු සෙවීමේ අසංකල්පිත චලනයන් වූවා
මට ඔහු හමු වූයේ නැත.

සියලුම රාත්‍රීන් සහ ඇතැම් දහවල් කාල
සරාගී සිහින සමගම අනන්‍ය වන්නේ
ඔහු මා කරා පැමිනෙයි
එහෙත් ඔහු අසංඛාර වන්නේ
මට දැක ගත නොහැක
ස්පර්ශ කල නොහැක

ඔහු නොපවතින්නේ නම්
ආත්ම ගතවන සුවඳක්
ළයෙහි පවතින්නේ මන්දැයි නොදනිමි
ස්පර්ශයෙන් තොර
අරූපාවචර මිනිසෙකුට
පෙම් කරන්නේ කෙසේද

මම මගේ මනසිකාරය සොයා යන්නෙමි

අසංඛ්‍යය වූ දෝමනස්සී චාරිකා
කුඩා විවරයකින් ආරාධිත
විසල් ගුහාවකින් අවසන්ය
එහි වෙසෙන අරූපාත්මයට
ප්‍රේමයේ රූපය අඹන්නෙමි

රන් උරිස් මත නීල ඝන ජටා රදන්නේ
කිරෙන් සේදී පිරුණු සුනිල ඇස් දරන්නේ
වමත මාගේ හිසට යට තබා
දකුණතින් මා වැලඳ ගන්නා 1
පිරිමි සිරුරක් කෙසේ වත් නොවී.

නිම නොවන විඳවුමක - ආනන්තරිය හැඩයක්
අභින්නවු හිස්බවක් ලෙස නැගේ
මගේ පෙම නොනැගිටුවන ලෙසත්
නොපුබුදුවන ලෙසත් 1 ඉල්ලමි

වැළපෙමි.


2014 

1ශුද්ධ බයිබලය

© Subhadra Jayasundara
 

කැළැල් වූ තැන් නඟමි සේයා රූ වලට



කැළැල් වූ තැන් නඟමි සේයා රූ වලට

තිබුණි නම් මගේ පැරණි නිකොන් කැමරාව
දාස්මල් පාටැති සිංහ හම ද
මම සැඟව ගමි එතැන
කැළැල් වුණු නිහැඬියාව
නඟනු පිණිස සේයා රුවට

යුද්ධයේ නිහඬබව

කතකගේ පියයුරුය
අඳුරු පැහැ කවයකින් වට වූ තනපුඩුය
අවුල් වුණු කෙස් රොදය බිඳී ගිය වළලුය
සාක්ෂි නැති මරණයකි මෙය
වගඋත්තර නොඉල්ලන මරණයකි මෙය

අඩක් පිළිස්සුණු තොටිල්ලක් පාමුල
මව ඇගේ ගැඹුරුතම සුව නින්ද නිදන්නී
ඉදින් එහි ගරාදිය නොවී නම් බිළිඳු හට
පැන යන්‍ට තිබුණා නොවෙද?

නැත

කිසිම කිරිසප්පයෙක් නොඇවිදියි උපන් හැටියෙම
සිද්ධාර්ථ ගෞතම ම මිසක

කොඳු පෙළට වෙඩි වැදී තරුණයෙකු අවසඟව

නඟමි මම ඔහුගේ මරණය සේයා රුවකට

ඇට තුළට ගැඹුරටම වැද රිදුම් ‍දෙන සඳ
මරණයත් සංසුන්ය සාධු චුතියක් සේම

ෂටරය නිවි නිවී දැල්වෙයි. මෑනුවෙමි
දසුන වෙත එල්ල කොට
වෙඩි කැළැල් උණ්ඩවල
පාසැලේ බිත්ති මත

දරුවෝ සැතපෙති සාමයේ
එයයි සැබැවින්ම සාමය
නඟමි මම සේයා රුවට උන්ගේ කැළැල් ඇති සිඟිති පා පොඩි
තබන්නට ඉඩ නුදුන් මව්බිමේ පස් මත
දඩයක්කාර පළවැළ බුදින්නන් වුවද
මොහොතක් ඉවසිලිවන්තය
උන්‍ට අවැසි දේ මුල් අදින තුරු පොළවට

මෝසමේ දී කාණු පිරී ඉතිරී යයි
ඉනික්බිති පිපිරෙයි

නඟමි මම සේයා රුවට දිය
කිමද නොදැවෙන්නේ එය පුපුරන විටත් ෂෙල් වෙඩි ?

සුජාතවත් ම්ලේච්ඡත්වයට යටවූ මිනිසුන්ය
අත්පා නැතිය කෙනෙකුට
ඇස්, සම් නැතිය තවෙකෙකුට

තවමත් හුස්ම අල්ලන
ඇතැමුන් සිටිති හැලහොල්මනක් නොමැතිව
සැතපෙන සිරුරුවලට අවසන් ගෞරව කරන උන් මෙන්.
උන් දනී ඉතිරි නොවන වගද කිසිවෙකුත්
අවසන් ගෞරව කරන්නට උන් හට
නඟමි මම සේයා රුවට, හිස්කම

කවිපොතේ අවසන් පිටුව. වීසිකළ, නොපිසූ සහල්පත,
උපැස් යුවළෙහි බිඳුම. හිස් ගේ කුරුලු කූඩුව.
ආදරේ කැබලිති. බිඳී ගිය මැටි කළය.
දුමාරය

නඟමි මම සේයාරුවට අඳබව

අන්ධ වූ දිනපති
වගුරයි කැළැල් මල් පෙති
පැහැ සහ සියලු හැඩ ඇති.
නොහඳුනන අරුත් ඇති
තවත් පැහැ, හැඩ ඒවා මවනු ඇති.


2014 

I would photograph scars නමැති මුල් ඉංග්‍රිසි කවියේ සිංහල පරිවර්තනය දමිත් වැලිකල ගෙනි.