කැළැල් වූ තැන් නඟමි සේයා රූ වලට
තිබුණි නම් මගේ පැරණි නිකොන් කැමරාව
දාස්මල් පාටැති සිංහ හම ද
මම සැඟව ගමි එතැන
කැළැල් වුණු නිහැඬියාව
නඟනු පිණිස සේයා රුවට
යුද්ධයේ නිහඬබව
කතකගේ පියයුරුය
අඳුරු පැහැ කවයකින් වට වූ තනපුඩුය
අවුල් වුණු කෙස් රොදය බිඳී ගිය වළලුය
සාක්ෂි නැති මරණයකි මෙය
වගඋත්තර නොඉල්ලන මරණයකි මෙය
අඩක් පිළිස්සුණු තොටිල්ලක් පාමුල
මව ඇගේ ගැඹුරුතම සුව නින්ද නිදන්නී
ඉදින් එහි ගරාදිය නොවී නම් බිළිඳු හට
පැන යන්‍ට තිබුණා නොවෙද?
නැත
කිසිම කිරිසප්පයෙක් නොඇවිදියි උපන් හැටියෙම
සිද්ධාර්ථ ගෞතම ම මිසක
කොඳු පෙළට වෙඩි වැදී තරුණයෙකු අවසඟව
නඟමි මම ඔහුගේ මරණය සේයා රුවකට
ඇට තුළට ගැඹුරටම වැද රිදුම් දෙන සඳ
මරණයත් සංසුන්ය සාධු චුතියක් සේම
ෂටරය නිවි නිවී දැල්වෙයි. මෑනුවෙමි
දසුන වෙත එල්ල කොට
වෙඩි කැළැල් උණ්ඩවල
පාසැලේ බිත්ති මත
දරුවෝ සැතපෙති සාමයේ
එයයි සැබැවින්ම සාමය
නඟමි මම සේයා රුවට උන්ගේ කැළැල් ඇති සිඟිති පා පොඩි
තබන්නට ඉඩ නුදුන් මව්බිමේ පස් මත
දඩයක්කාර පළවැළ බුදින්නන් වුවද
මොහොතක් ඉවසිලිවන්තය
උන්‍ට අවැසි දේ මුල් අදින තුරු පොළවට
මෝසමේ දී කාණු පිරී ඉතිරී යයි
ඉනික්බිති පිපිරෙයි
නඟමි මම සේයා රුවට දිය
කිමද නොදැවෙන්නේ එය පුපුරන විටත් ෂෙල් වෙඩි ?
සුජාතවත් ම්ලේච්ඡත්වයට යටවූ මිනිසුන්ය
අත්පා නැතිය කෙනෙකුට
ඇස්, සම් නැතිය තවෙකෙකුට
තවමත් හුස්ම අල්ලන
ඇතැමුන් සිටිති හැලහොල්මනක් නොමැතිව
සැතපෙන සිරුරුවලට අවසන් ගෞරව කරන උන් මෙන්.
උන් දනී ඉතිරි නොවන වගද කිසිවෙකුත්
අවසන් ගෞරව කරන්නට උන් හට
නඟමි මම සේයා රුවට, හිස්කම
කවිපොතේ අවසන් පිටුව. වීසිකළ, නොපිසූ සහල්පත,
උපැස් යුවළෙහි බිඳුම. හිස් ගේ කුරුලු කූඩුව.
ආදරේ කැබලිති. බිඳී ගිය මැටි කළය.
දුමාරය
නඟමි මම සේයාරුවට අඳබව
අන්ධ වූ දිනපති
වගුරයි කැළැල් මල් පෙති
පැහැ සහ සියලු හැඩ ඇති.
නොහඳුනන අරුත් ඇති
තවත් පැහැ, හැඩ ඒවා මවනු ඇති.
2014
2014
“I would photograph scars” නමැති මුල්
ඉංග්‍රිසි කවියේ සිංහල පරිවර්තනය දමිත් වැලිකල ගෙනි.