“සුපුරුදු සෙවන යට මුදු සිසිලස විඳින - මල් ගස වැඩේවා ලැබ සැම රැකවරණ”


















රැක ගැනීමට නොවේ, බිඳ දැමීමට එකඟ මගේ සිත
ඇගේ  පුන් ප්‍රේමයේ  හද දිගුව නොවන්නේ
කාලයේ විනාශය පිරිපහදු කරන්නට
මගේ පෙනැහැලි වලට බල කෙරුණු නිසා යැයි කියමි නම්
ඇය උපන් අකාලය,
දිව්‍යමය යුගයකැයි
කිව  යුතුය

ඔවුන් දෙදනා විසින්, මා මවන්නට කලින්
මෙ කවි ලියැවී තිබුණි. ඇය අතිනි.
ඇගේ ඉඟ සුවිපුල්ව වැඩෙන විට
මට ඇසෙන්නැයි කියා - මෙ පද ගැයුවේ ඇයද?
දෙදෙනාම එක්වරද?
ඇයට දිගු හුස්ම  ගන්නැයි කියා
ඔහු තනිව ගැයුවා ද නොදන්නෙමි

පෙම්වත්කමක්  පරපීඩික වන්නා සේම
පෙම්බර සිතක් ස්වපීඩික වන බවත්
ඒ නීවරණ -
කාමයන්  යැයි කියන්නට
ඒවා අකුරු මතින් ප්‍රක්ෂේපණය කර
කවි කියා නම් කරත යුතු බවත්
මගේ හෘදය රහසිගතවම නිශ්චය කළ දිනය
ඇයට සදාකාලිකවම සැඟවිය යුතුය
සියවසක් කිට්ටුවට මහලු වුව ඇගේ හද
දරුවෙකු ගෙ තරමටම සියුමැලිය

ජීවිතේ අවසාන දශකයන්ගෙන් එකක
විස්මෘතිය තුළ පවා අමතකව නොයන්නේ
මෙ කවි ඇයි දළ සිතට මෘදු සිතැඟි ගෙනෙන්නේ
කාලාත්‍රය තුළ ම
නිදැල්ලේ සැරිසරන වරදකරුවා මමයි.
දාරකත්වය දුකකි -
ඇගේ කවියේ නොමැති දුක එයයි


2014

© Subhadra Jayasundara