නුඹේ පෙම භයංකර සත්‍යයකි


















අඩක් සියවස් අඩක් අත් නෑර නොනැවතී
ළය පලා පුදන්නැයි බල කරන
නුඹේ පෙම භයංකර සත්‍යයකි

අතින් පන්දම දරා, නෙතින් කලුවර හලා
මනමාල ලුසිෆර් පැමිණි තැන
හද දඟර වී තිබුනි සර්පයෙකු වාගේම
ආලෝකය ද අඳුර ද
එක්වරම නැගුණු තැන
ළය සුසැදි රන්මුවා සර්පිලය දකින්නට
යුක්ලීඩ්ටත් වඩා කාලයක්,
හදවතට ඇහැ ගහන් කල් මරන
නුඹේ පෙම භයංකර සත්‍යයකි

පාෂාණිභූත මැණික් කටු සහ ඉපිල්ලුණු නිල් නහර ද
පැරණි දිගු සීසේරියන් කැලැල්ද
තවම තුණු ඇහි පියෙන් පිරිමදින
මට රිදේයැයි සිතා
නින්දෙනුත් මගේ හිස සකසවන - නුඹේ පෙම
පලමු ඒක භාර්යා පවුල පටන් ගත් දවස වාගේම
භයංකර සත්‍යයකි

ප්‍රේමය තරම් පරිපූර්ණ
සර්පිලාකාර නිමැවුම්
අතීතය වෙත යන්න නුඹ සදන මඟ මරා
අලුත් ඉරි මගේ නළලත තබන
නාගයින් හැව අරින රාත්‍රිය පුරාවට,

කප් කෙලක් කප් නෑර එකම සිතකට බැඳුණු
සිදුහත්ගෙ අතාර්කික ප්‍රේමයට අරුත් දුන්
නුඹේ පෙම භයංකර සත්‍යයකි

ඉදින් මට හද පලා පිදිය හැක
එසේ වුව සර්පිලය එයමය
අඩක් සියවස් අඩට මුල පිරුව
කාල පථයට නැවත පිවිසෙන්න
ඒතරම් වේගයක් මට නැත
වේගවත් වස්තූන් දිගු නැත


2015

© Subhadra Jayasundara