ගැහැණියක වෙමි


















උන් වහන්සේ ස්ත්‍රියට කතා කොට නුඹේ ශෝකය හා ගැබ් ගැනීම් බොහෝ සෙයින් වැඩි කරන්නෙමි‍, නුඹ වේදනා සහිතව දරුවන් වදන්නී යයි කී සේක.
                                    - ශුද්ධ බයිබලය


ගැහැණියක වෙමි
ළය වසා ළැම ද
ගැබ වසා ඉඟ ද
වසා රොද වසා උකුළ ද
දරමි

දරුවන් දැරූයෙන් ද
දරුවන් වැදූයෙන්ද
දුකම විඳිමින්
දුකම දිනූයෙමි

කුල ගෙයට වඩා වැඩි සිත් උයන
ප්‍රේමයේ අස්වැන්න නෙලූයෙන්
ස්වාමීනි මම
මිනි‍සෙකුට ‍ප්‍රේම කළ
ගැහැණියක වූයෙමි

සිහිනයෙන් සිල් බිදින අඟනුන් ද
දරුවන් සමඟ යන විට
මඟ අරා ඇස් වැසූ මිනිසුන් ද,
මේ මිනිස් පුත්‍රයා සුජාත ද
බෞතීස්මයට පෙර හගිස්සති

අසල්වැසියනි වරෙන්න
පුතු සිරුර රිදවමින් බලපන්න
මගේ ශෝකය නුඹේ ප්‍රීතියයි
නුඹේ ප්‍රීතිය මගේ දිනීමයි

ඉදින් මම
වේදනා වින්‍‍දෙමි
ශෝකයම දිනූයෙමි

2011


© Subhadra Jayasundara