හිස් තැනක් තිබේ නම් පෙන්වන්න


















දැන් මා බලාපොරොත්තු වන්නේ කිසිවක් නොලැබීම ම පමණි
- ථෙරී ගාථා


බැඳුම් ලන්නී - බැඳ තබන්නී
බැඳුම් හැරුණි ද හැවිලි ලන්නී
ඇස් නොවේ හදවත පවා දන් දිය හැකියි
බිම් මුල් පටන් සල් ගස් පුරා මල් හට ගනියි

වැගිරෙන හදින් - පාරා සොයන්නෙමි
හිස් තැනක ලකුණක්
තුරු බඳ වටා ලිය වැල් සිඹී
කෝ කොහේවත් හිඩැසක්

බීමත් තිසර තුඩු අහම්බෙන් වට
ඇහි පියක වැදිලා
කරබා ගන්න තරවටු කරන්නී
බලව සඳ නැඟිලා

සඳක් උව පිරෙමින් වැඩෙන්නේ
දෙ සතියකි හරි නම්
සකුණ අර නුඹෙ චාරුනී
සඳටමය ඇගෙ පෙම්

ගලවමින් මණිමේඛලා - ගිගිරි මුතුපට දුල්
හිස් වෙන්න ලෙහෙසී - නොහිස් හද
හිස් කරන සැටියක්...?

රික්තයක් වේ නම් - හුදෙකලා
ශුන්‍ය බව රැකගත්
ඇවිත් පෙන්නා දෙන්න මට එක වතාවක්
විසල් උව කෙතරම් - පිරෙන්නට
සෙනේහය පුරවම්
හිස් වෙමින් හැර යන්න මට මගෙ ගුහාවෙන්

2011

© Subhadra Jayasundara