සිහිනය



















සිහින කාලකණ්ණිය
බිය ගන්වන සුලු ය
හැමදාම අඳුර තුළ
උපරි විඥාණයට තැනක් නැත

රාස්සිගෙ අව්ව ට
පත් සෙමින් සෙලැවෙන
රබර් වත්තට ගොඩ වෙමි
මේ අපේ ඉඩම් යැයි උදම් ඇනූ
ආච්චි ගෙ වැඩවසම් ආදරය
නුරුස්සන හැඟීමක් ඇති කරයි

රබර් ඇට වසාගත්
චන්ඩ කෝෂය බිදිමි
එකින් එක ගණන් කර
පන් මල්ල පුරවමි
ඊට පසු ඉහිරෙන්න ඉඩ හරිමි

බඳ රිඳන විට ගසා පිහි පහර
හැඬූයෙන් සැදි ඔට්ටපාලුය
රබර් ගඳ ඉවසමින්
ප්‍රත්‍යස්ථතාවයට හිස නමමි

වැඩවසම් අයිතිය කෙලවරේ
පුවක් ගස් තනි පයින් වැඩමවයි

කරුංකා රන් බවට හරවමින්
ආච්චී දුන් කණක පළඳනා
නො පළඳින මට කුමට
රබර් මුල් කාල මංජුසාවකි
මිටි මෙළ වූ අත ලිහා නිදන් ලමි

ආදරෙන් වැළඳ ගෙන මුදුන් මුල්
ගස වැටෙන්නට නොදී ඇය නිදයි

යථා වාරී වහා පූරං
පරිපූරෙන්තු සාගරං
සාගරය වන් හැඬුම් මතකය
බෝරිච්චි හැට්ටයට රැළි වැඩිය

විශ්වයක සුමධුර ම ස්වර රැගත්
ධ්වනිය නින්නාද දී මට ඇසෙයි
ඒව මේව ඉතෝ දින්නං
පේතානං උප කප්පතී

ආච්චී ආදරෙන් අත වනයි
ඇගේ උණුහුම ලඟින්
මගෙ දිගට පළල ට
යහන සදමින් වරෙන් යැයි කියයි

මියෙන්නෝ භාග්‍යවන්තයෝය
මක්නිසා ද,නොවිඳවීම ඔවුන්ගේය

2011

© Subhadra Jayasundara