COMRADE



















මොකක්ද කොම්රේඩ් වෙනුවට කියන ඉංග්‍රිසි වචනය?”

කාගෙ හරි පපුවට එන උණ්ඩයකට මම මගෙ පපුව ‍දෙනව නම්, මම එහෙම කරන්නෙ ‍කොම්රේඩ් කෙනෙකු ‍වෙනුවෙන්, වෙන ඉංග්‍රිසි වචනයක් මට හොයා ගන්න බෑක්‍රිෂ්ණා කිව්වා.


දි‍යෙන් කිරි වෙන් කරන සේ
පෙමින් පෙම වෙන්කර ගෙනා
පසට පස එක්වන තුරා
උ‍රෙන් උර වෙලෙනා
මිටින් මිට ගත් අරමුණින් බැඳි - ප්‍රේමයයි

අඳුර තුළ පොත අතින් ගෙන පෙරලා
කනිනිකා එළි වැට සොයද්දී
කලුවරේ ඇස් හුළු දෙ අතු දල්වා
ගොලු පොතට හඬ දී -
කතා කළ - ප්‍රේමයයි

බඹර වැල දෙන්නට නොවේ
ඇස් දෙකම ගලවා දෙමින්
දෙළුම් පැහැ කමිසෙක සාක්කුවකට දමා
ඇවිත් ගන්නම් කියා යන්නට හිත ‍දෙනා
මනස තුළ ඇහැකට ඉඩක් සැදු - ‍ප්‍රේමයයි

සහෝදර හුස්මක් නැතී
බිමක නො නඟී තරුපතී
උණ්ඩයට ළය දෙන්න මේ දුර, දුර වැඩී
පියාපතක ට මුහුදු පසු කර යනු බැරී

මොහොත තුළ මොහොතවල් දහසක් මතු‍වෙනා
මඟහැරුණු උණුසුම දෑස් තුළ දියවෙනා
තියා ගන්නැයි කියා නුඹ දුන් හිත තියේ
බෙදා ‍දෙන්නට ස‍හෝදර සිත් කොහි තියේ

නොනිම් අහසත් නුපුළුල් ය නුඹ ළඟ නැතී
රතු පොත් ම ඇත කියවන්න ඇස් නැත ඇරී
පිතු සෙනේ ළඟ පවා නො නැමුණ හිස නැවී
සෝයුරෙක් අස කුදු ව අඩදැනි විය හැකී

2011


© Subhadra Jayasundara