අහිමි මහ පොලොව


















නුඹ අහිමි වීමේ සිහිනය
සිහිනයක් නොවන වග හැ‍‍‍ඟෙන විට
අකුණු සැරයක් වෙලී සියොලඟම
දවා අළුවෙන ලෙසක් දැනී යයි

කවුලූවෙන් දුර බලමි
සුධාවල හිම විසුල මහ යාය
හිරු සමඟ දිලිසෙමින් දඟ කරයි
සුමුදු හිම පියලි මත
නේක හැඩතල මවන ලපටි හිරු

මේ තරම් අසිරියක් කියවන්න
මා දෑස් බෑ කියන්නේ මන්ද

තඹ පාට බොරළු මත පතිත වුණ
රත්තරං හිරු එළිය
මා දෑස අවදි කර - වෙර ගෙනා අතීතය
පොද වැස්ස මැද දුවන හැමවිටම
දැනුණු දුහුවිලි සුවඳ - මහ මතක
නහර වැල් තුළට වැද කොනිත්තා
අතරමං වූ බවක් කියාදෙයි

හදිසියෙන් අතු අගට මල් දෙමින
කෙල්ලන් ට පාට මුදු සළු දෙමින
හිම මතින් වසන්තය උදාවෙයි
මේ තරම් අසිරියක් විඳින්නට
මගේ සිත බෑ කියන්නේ මන්ද

ලා හරිත වෙල් යාය අග පිපුණ
බකිනි මල් සොයා ගිය කෙලි රෑන
රන් පාට කරල් කපනා දිනෙක
කැපුනු පොඩි ඇඟිල්ලක් රිදි මතක
මේ වසන්තය මගේ නොවන බව
කියා දී සිතම අඩපණ කරයි

කුරුල්ලෙක් උනොත් මං මේ දැන්ම
තටු සලා ආ නොහැක නුඹ ළඟට
දනිමි මම - නුඹ නොමැත පෙර ලෙසට
නැ‍ඟෙන්නට මගේ පොඩි පැටවුන් ට

මගේ යැයි මා සිතූ මිනිසුන් ම
මගේ මව් බිම මරා දැමු අරුම

2009

© Subhadra Jayasundara