සඳක්ම ය මා පුත



















සඳෙන් සඳ මෝරත
සඳක්ම ය මා පුත

සිඹිමි මඳහස නැඟෙන දළ රවුලූ
දකිමි සිඳ බිඳ දැමෙන මහ පවුරු

තබා මගෙ දෙවුර මත - මට වඩා උස් තැනෙක
නුඹ හිඳී දිනාවිත් සිත සිතා
පරිස්සම් කළෙමි මම - අයිති නැති සිහිනයක්
බරයි එය ජීවිතේටත් වඩා

සඳෙන් සඳ වතුර ගෙන පොවන ට නුඹට
කොහෙන් කිරි එරුණිදැයි නොදනිමි ඇයට
ඉරෙන් රන් එළිය ගෙන දෙන්නට නුඹට
වරෙන් කියා කැන්දන් යන්නෙ ද කොහෙට

සොයා ගියද පෙරඹර මට හමු නොවුණී
නුඹට අඳුර මැද ඉන්නට බල කෙරුණී
අඳුර තුළ ම දහසක් නෙත් ලද බැවිනී
නෙත් අඳ රජුන් උදහස් කළ පුතනුවනී

සඳුන් වුනත් පැලවෙන්නට බිමක් නැතී
පුතුන් වුනත් පියෙකුට මඟ කියනු ඇතී
නොදන්නා ලෙසින් මඟහැර ඇදෙන සකී
නුඹේ පුතුන්ටත් නැගෙන ට රටක් නැතී


2009

© Subhadra Jayasundara