ඔබ ගෙනා දෑස් නැති පිළිරුව


















පිළිරුව ගෙනා රෑ සිහිනයේ
මා දෑස් අඳ කරන්නට ප්‍රථම
ඔබ, ඔබේ ඇස් අඳ කරන් තිබුණා

අන්ධ කර මා දෑස්
බැඳ තබා රකිනු වස්
අන්ධ වනු රිසි රතිය නුඹගේ ය
මා නිසල බඳ සසල කරවනා
සියුම් රළ සසලිතය නුඹගේ ය

ගෙල අමන්දා අතර
ඇඟිලි තුඩු ගිණි ගැනෙන ගින්දරේ
සිසිල සොයමින් දෑත්
පුරුදු තුන් ඉරි නැබග නතර වේ

තුන් මඩුළු පිරිමි හැඩයෙන් සැදී
වසා සළුවෙන් වැසී ඉන්නැතී
දෙතොල් දෙතොලින් ම පිරිමැදි තරම්
මේ නුඹ ම බව හඟින්නට තරම්

ළය රිදී වේදනා සසලැවෙයි
මුදා නුඹ හද රුදා
වේදනා අත්ලටම ඇද ගමී
මා සිරුර උණුසුමේ දියවෙමින්
ඒ නොනිම් ලාලසා
මගේ සම් මස් කිදී
ඇට මිදුළු පුරා නො නිදා හිඳී

තුඟු උරිස්  අතර මැද්දෙන් ගලා
කටී තල මත ගැටී වැලපෙනා
නුඹෙ නුරා ප්‍රහර්ෂය මා පුරා
අන්ධ කල දෑස් අඩවන් කරයි

තවත් මට දෑස් යනු
දෑස් පමණක් නොවේ
ගැහැණු බව සහස් ඉඳුරන් මවා
සහස් ඇස් සමඟ අවදි ව හිඳියි

ඉන්ද්‍ර සවියෙන් වැඩී
නුඹ ද පුම සිත් දරන මල්සරා
අන් මලවි මඟ මඬින 
ළය ඇනුණු  හීය ඇද විදින්නට
නැවත නැවතත් නැගෙන කින්නරා

අන්ධ කරවනු සිතින් සිඹින්නා
නුඹම වේ පිරිමි හද දරන්නා

2013

© Subhadra Jayasundara