කමලදාස්


















ගැහැණුන් ප්‍රේමය නිසාම අනුරාගයේ බැ‍ඳෙති. පිරිමින් අනුරාගය නිසාම ප්‍රේමයේ බැ‍ඳෙති
- කමල දාස්

කමල දාස් නුඹ කව්රුන් ද

සඳුන් දර දැමූවත් දැවෙන්නට
ගින්දරක් සෑහෙතියි සිතනව ද

අහිංසක විල් දියෙන්
පෙඟී සංතෘප්ත යැයි සිතාගෙන
ළඳක් සිය දෑත් ගෙන
ගින්න මත අතුරාවි නිවෙන්නට
අත්ල මැද ජ්වලණ උණුසුම වතල
ප්‍රේමයේ ඔක්සිකාරක විනැයි
නොදැන සිටියා කියා ලියම මම

තෙත පෙඟී දියවෙලා
වැගිරෙන්න හදන කපු
පෑහෙන්න බැරි විලස
දැල්ල අසලින් තබම

උණුහුමට ටිකෙන් ටික
දිය පාට දියව යනු දැකගන්න
මොහොතකට ලංවෙලා නරඹන්න

ස්වේත වර්ණය සමග
කපු - කපු ම වී පැමිණ
ගිණි ගන්න රන් මොහොත - කමලදාස් !


නිසල විල අසල හිඳ
සලන සුසුමන් වලට
නොසැලි දිය සසල වන වෙලාවට
සියල්ලම සසල බව අත්දකිමි


නි‍වෙන හැටි දැන දැනත්
දැ‍වෙන තුරු මඟ බලා හිටිය බව
නුඹට පමණක් කියමි 


කමල දාස්! ඒත් නුඹ කව්රුන් ද

2011

© Subhadra Jayasundara