මගේ ලේ නිල් පැහැය


















නැති නිසා හිතක් මට
මගේ ලේ නිල් පෑය
ඇය කියයි

මෙඩුසාට නම් හිස් ය
ඇයට නම් හදවත්ය
අනින විට එකකට
තව එකක් මතුවේ
නසන තරමට පෙම
යලි ඉපිද හඹා ඒ

ඉහිල් කොට විශද කය
මනස ගෙන පිටවීමි
ඇය අවුත් ලය පලා
නිල් පැහැය සොයා ගනිතැයි සිතා
ඔත්තු බලමින් හුනිමි

දෑතින්ම වැළඳගෙන
නැමුණු හිස - ඇය හඬයි
දෙදන ඇන වැළපෙමින්
මා සිඹියි

ඇරුණු හද  - කඳුලු වැද
නිල් පැහැය රතු  වේය
ප්‍රේමයට හුස්ම දෙන්නට හැකියි
පලමුවෙනි වතාවට දැන ගතිමි

සමපාත කර සියලු හෘදයන්
බෝ බරැති එක හදක් දරන්නී
හුස්ම ගන්නැයි කියා යදින්නී

ඇසැර මම
ආදරෙයි කීවොතින්
හනි හනික කඳුලු පිස
මගේ ලේ නිල් පෑ ය
නිසැකවම කියයි ඇය

2011

© Subhadra Jayasundara