විස ගෙනා පුන් සඳ


















එක එක පොඩි පා ඉස් සී
හිනැහුණ පැටි කෙලි පිස් සී
අත අත අල්ලා ගන්නා
ඇස පාදමිය තොසේ

එක්කන් ගිය මහ පාරේ
විස කටු දෙණිය ඉහත්තේ
මරු වැල් හඳුනා ගන්නා
ඇස වැසුනේ ද කෙසේ

දින දින සඳ මෝරන්නේ
සඳ සමඟිනි  හිනැහෙන්නී
සොඳ කොඳ  මල් පළඳින්නී
රන් කඳ නුඹ නිවසේ

දුටු සිහිනය වැනසී ලා
දුව හිඳිනී සැතපී ලා
මොන මොන දුක දැරුවා දෝ
මොන මොන විස කෑවා දෝ

මව් කිරි ලැම පිරුනා දෝ
මව් සිතිවිලි වැඩුනා දෝ
සිනහව සඳට දැනී ලා
සස ලපයක් එව්වා දෝ

රන් සළුවක ඔතමින්නේ
රන් ගින්දර නෑ ලන්නේ
රන් හද පන අරගන්නා
රන් ඔසුවක් එවපන්නේ

මුතු ‍බෙල්ලිය මා වී‍දෝ
මුතු රැක ගනු බැරි වීදෝ
නැගිට එන්න දූ කුමරී
දෙදරන හද වානු බැරී

අද සිට කෙසේ ඉතින් මම්
ගෙවමි ද තනි දිනයන්
මවකට බැරි උනි නම් - රකින්නට
දුවකට සොඳ දිනයන්
රුවට පිපුණු මනරම් - පියුම් ඇති
තුරකට කොහි ද නිවන්
විසක් කැවුණු දරුවෙක් - සිටී නම්
මවක් සොයා දුවපන්

2010

© Subhadra Jayasundara