සිසිරයේ ඇස්


















සිසිරයට මඟ කියන පාර දිග
දිය පවා රූපාන්තරණය වී
තෘණ මත ම නිදියනා කාලය යි
දෑස පමණක් ම නිරුවත් කරන්
සියොළඟ ම උණුහුම ට ඔතාගත්
ජීවිතේ පරක්කු ම කාලයයි

ඔබෙ හුස්ම පොද ඔබට පෙනෙන්නේ
දෙ තොල් හිරිවට්ටවා ගොළුකරන
පසමිතුරු  සීතලක විතරයි

අචලතාපික සිරුර පවතින්න
චුවින්ගම් වික විකා ඇවිදින්න

මඟ දිගට - ඇස් මතින්
කෝපි කප් දුම් දමයි
ඒ සුවඳ විඳින්නට නොහැකි ලෙස
නැහැය රෙදි පටියකින් වසා ඇත

ජීවිතේ හැමදාම
මඟ හැරෙන්නේ සුවඳ විතරයි
හොරෙන් විඳිනා දේත් එයමයි

නාඳුනන රුවක් තුළ
දන්න දෑසක් හමුව
හිස සලා සහෝදර බව කියයි

නග්න දෑසක හයිය හිතට ගෙන
ජීවිතේ  තියෙන තුරු  ඇවිදින්න
මඟ දිගට ජීවිතය දැකගන්න

සෘණව ගිය උණුහුමක
කඳුළු බිඳ  ගල් නොවී තියෙන්නේ
ආදරය ගල් නොවෙන හින්දයි
පෙකෙනිවැල මිනිස් රුව මවනකොට
දෑස් ආදරය ලද හින්දයි

මිතුර නුඹ
දිය මිදෙන සීතලෙත්
බය නැතුව ඇස් ඇරන් ඇවිදින්න

2011

© Subhadra Jayasundara